Tuesday 16 February 2010

සංඝයා බේද කොට අපාගත වීම

පිස්සාට මෙන්න මෙහෙම දෙයක් මතක් වුනා.
සංඝයා බේද කිරීම ආනන්තරීය පාප කර්මයකි. එහෙම කිව්වේ බුදුන් වහන්සේ.
ඒත් පිස්සා කවදාවත් සංඝ බේදය දැකලාවත් අහලාවත් තිබුණේ නැහැ. ‍
නමුත් මෙන්න බොලේ දැන්නම් සංඝබේදය ඇස් පනා පිටම පේන්න අරගෙන.
ඒ මේ පිස්සු රටේ පිස්සු පාලකයන්ගේ ක්‍රියා කලාපය නිසා.
මට මේ ගැන තවත් පිස්සො ටිකක් එක්ක කථා කරන්න හිතුනා.
කහපාට රවුමේ එක ගහපු මාධ්‍යයකට සේවය කරන පිස්සා මෙහෙම කිව්වා.
'' ඔය මහ නායක හාමුදුරුවරු සංඝ සමුළුවක් කැදෙව්වාට ඒකේ දේශපාලනයක් නැහැනේ."
දිනපතා ලංකා දූපතේ පිස්සා මෙහෙම කිව්වා
" ඒ උනාට මම නම් හිතන්නේ හාමුදුරු අර දුෂ්ඨ සෙන්පතියාට කඩේ යනවා වගේ "
" නෑ මම නම් එහෙම හිතන්නේ නැහැ. හාමුදුරුවරු ටිකක් ලොක්කට සපෝට්. ඒත් මේ වෙලාවේ හාමුදුරුවෝ එකතුවෙලා හරි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවනම් හොදයි නේ "
දිනපතා මැණික් පිස්සා මෙහෙම කිව්වා
" මහ රජ්ජුරුවන්ට විරුද්ධව කරන දෙයක් නෙවෙයි කියලා ලොකු හාමුදුරුවරු කියල තියෙනවනේ "
" ඒ වුනාට රජ්ජුරුවෝ හොදටම බය වෙලා. ඒ නිසා තමයි අර ලොකු මහත්තයාගේ බෑණා අල්ලන්න හදන්නේ. ඒ වගේම තමයි. අර පත්තරේක ලොකු මහත්තයා එළියට දැම්මේ. "
මෙතෙන්ට හොට දාපු තවත් ආණ්ඩුවේම පිස්සෙක් මෙහෙම කිව්වා
" දන්නවද වැඩක්. ඒ පත්තරේ මහත්තයාව කොහොමත් අද එළියට දානවා. ඒ බව දැනගෙන ලොක්කා ලකුණු දාගෙන තියෙනවා. "
ඔළුවක් නැති පිස්සා මෙහෙම කියනවා.
" ලොකු හාමුදුරුවරුන්ගේ සංඝ සම්මේලනය වර්ජනය කරන බවටත්, ඒක වැරැද්දක් බවත්, ඒ විදියට හාමුදුරුවරු 500 ක් ගෙනාවොත් තමන් තව 10000 ක් ගේන බවත් සමහර හාමුදුරුවරු කියන්න පටන් අරගෙන. ඒ හාමුදුරුවරු සංඝ සම්මේලනයට නොගිහින් කියන්නේ රජ්ජුරැවන්ගේ වුවමනාවට බව පැහැදිලියි. ඉතින් රජ්ජුරැවෝ මේ මොනවද කරන්නේ .................. ? "
කරන්නෙද ?
පැහැදිලිවම ආනන්තරීය පාප කර්මයක්.
අපි දන්නවා සංඝ බේදය ආනන්තරීය පාපකර්මයක් කළාම වෙන්නේ මොකක්ද කියලා.
යන්නේ පොළොව පලාගෙන
අනේ මහරජාණනේ තොපට එසේ නොවේවා.
දැන්වත් මහ සංඝරත්නයේ සැබෑ උපදෙස් රැගෙන දස රාජ ධර්මයෙන් රට පාලනය කරන සේක්වා !
පස්වාන් දහසකට බුදුවේවා දේවයන් වහන්ස .........................

Tuesday 9 February 2010

මහත්වරු ලගට ගිය මන්ත්‍රීතුමා ආපසු යයි !

මම පිස්සන්කොටුවෙන් පැන ගත්තු ගමන්ම ගියේ මන්ත්‍රීතුමෙකුගේ ගෙදරට. එයා හිටපු නගරාධිපති කෙනෙක්. නගරාධිපතිකම කරලා අර මැඩම්ගෙන් පාර්ලිමේන්තු වරම් නොලැබුනා කියලා මෙයා ඇන්ඩම් අයියත් එක්ක එකතුවුනා. ඒ එකතු වුනු වෙලාවේ ගෙදර තිබුණා ලොකු රැස්වීමක්. ඉතින් ඒ මීට අවුරුදු නමයකට විතර ඉස්සෙල්ලා. මමත් ඒ රැස්වීමට ගියා. මෙන්න මෙයා අපූරැ කථාවක් කළා.
මම ඉස්සෙල්ලා හිටපු පක්ෂයේ කිසිම වැදගත් මිනිහෙක් හිටියේ නැහැ. දැන් තමයි මට තේරෙන්නේ කොයිතරම් වැදගත් අය මේ පක්‍ෂයේ ඉන්නවද කියලා. ඇත්තටම මට හරිම සන්තෝසයි. අර මිනිස්සුත් එක්ක ඉදලා වැඩක් නැහැ. ඒ කාලේ අපේ පාක්ෂිකයෝ හැටියට හිටියේ රස්තියාදු කාරයෝ. සල්ලිවලට වැඩ කරන මිනිස්සු. දැන් තමයි මට නියම මිනිස්සු හමුවුනේ. මම ඔයාලව දාලා කවදාවත් යන්නේ නැහැ.
මෙයා ඒ වතාවේ පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත්වුනත් ඔහු දිනුවේ නැහැ. මෙයා නැවත වතාවත් තමන්ගේ නගරාධිපති කමට තේරැනේ අළුත් පක්ෂයෙන්. මෙන්න බොලේ මේ නගරාධිපතිතුමා අළුත් පක්ෂයෙන් නැවත ඡන්දය ඉල්ලුවා පාර්ලිමේන්තුවට. ඒ 2004 ඒ පාරනම් පාර්ලිමේන්තුවට ගියා.
ටික කාලයක් ගියා ඒ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉල්ලපු ඇන්ඩම් මහත්තයා පරාදයි. මෙන්න බොලේ මේ උන්දෑ මහරජාට සහය දෙන්න කියලා පැත්ත මාරැ කළා. අර මහත්වරැන්ට කොකා පෙන්නලා. සමජයට වැඩකරන්න කියලා නියෝජ්‍ය ඇමතිකමකුත් ගත්තා.
මම පිස්සන්‍ කොටුවෙන් පැනලා ගෙදර යන කොට මෙන්න මේ ඇමති තුමාගේ ගෙදර ලොකු රැස්වීමක්. මට පිස්සු බව නොපෙනෙන්න මම ඒ පැත්තට ගියා. දැන් එතුමා කථා කරනවා.
කලින් පක්ෂය මාරැ කරපු වෙලාවේ මිනිස්සු නොවේයැයි කියලා මෙයා හදුන්වාදීපු පුද්ගලයෝ අත්පුඩි තලමින් සතුට ප්‍රකාශ කලා. මම එතනින් හීන් සැරේ මාරැ උනේ. උන්ට මොලේ තියෙනවානේ මේ වගේ වාසි පැත්තට පනින එවුන් නැවත නැවතත් පාර්ලිමේන්තුවට යවන්න. මට පිස්සු.
හික් .............. හික්.................

පිස්සන් කොටුවෙන් පැන ආවෙමි.

හැමෝම කියන්නේ මට පිස්සු යැයි කියලාය. ඒත් මට පිස්සු නැත. මට හිතෙන්නේ මුන් බොහෝ දෙනෙකුට පිස්සුව තද වී තිබේ. මට පිස්සු නැති නිසාම මමත් මම වැනිම වූ තවත් පිරිසකුත් කළ කී දේ හේතුවෙන් පිස්සන්ගේ හිස් මොළ රත් වී ඔවුන් අපිට පිස්සන්යැයි කීමට විය. ඒ නිසා ඒ අය එකතු වී අපව පිස්සන් රැළක් බවට පත්කිරීමේ උත්සාහයක නිරතව සිටිති. එහෙත් මේ ‍රටේ ජනතාව එය පිළිගන්නේ නැති බව අපට විශ්වාසය. එහෙත් ඒ දැන්ම නොවේ. දැන් මේ රටේ ජනගහණයෙන් ලක්ෂ 60 ට වඩා පිරිසකට ඉඩි අමීන් පිස්සුව වැළදී ඇත. අපි කියන දෙය ඔවුන් තේරැම් ගන්නා විට කාලය ගොස් හමාරවනු ඇත.
මම පිස්සන් කොටුවට කොටු කළ බැවින් මම මගේ ජීවිත ආරක්ෂාව පතා මගේ මල්ලත් අරගෙන පිස්සන් කොටුවෙන් පැන ගත්තෙමි. ඒ නිසා මම මගේ හිතට නැගෙන පිස්සු අදහස් පිස්සු නැති ඔයාලා වෙනුවෙන් මෙසේ සටහන් කරමි. මෙතැන් සිට පිස්සාගේ පලා මල්ලේ ඇති දේ බලා ගන්නට ඔයාලටත් අවස්ථාව දෙන්නෙමි. එවිට කාටද පිස්සු කියා තේරැම් යනු ඇත.